Monday, January 3, 2011

80 දශකයේ තෙල් මිල පහත වැටීම හා මැදපෙරදිග රැකියා

රටතුල විදේශ රැකියා සපයන ප්‍රමුඛ පෙලේ ඒජන්සි යහපත් සේවාවක් ලබා දෙමින් ආර්ථික වශයෙන් වාසි ලබා ගනිත්ම දේශපාලන (1977 පත්වූ රජයේ) ආශීර්වාදය ලද්දෝ ද නව වෙළෙඳ පොළට අවතීර්ණ වූහ. එහෙත් මේ වන විටත් මැදපෙරදිග රැකියා සැපයුම අත්පත් කරගෙන සිටි අනෙක් රටවල මූලයන් සමඟ තරඟ කිරීමට නොහැකි ලාංකීය රැකියා ඒජන්සි කෙරෙහි ද බලපෑමක් ඇතිවිය. ඔවුන් පැවැති රජයේ ද ආශීර්වාදය ඇතුව මැදපෙරදිග මතු වූ ගෘහ සේවා ඉල්ලුම සැපිරීමට ක්‍රියා කළෝය. රැකියා ඒජන්සි උකුසු ඇස මතුකර ගෘහ සේවිකා සේවාවනට පලමුව ගොදුරු වූයේ නාගරීක කාන්තාවන්ය.

1980 දශකය මුල වෙද්දී මැදපෙරදිග කඩිනම් සංවර්ධන ක්‍රියාදාමයේ බොහෝ නව ඉදිකිරීම්, විදුලි බල, ජල සැපයුම් ආදී යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමේ අවධියට පත්විය. ඉන් ඇතිවූ ක්‍රියාත්මක කිරීමේ (operations) හා නඩත්තු කිරීමේ (maintenance) අංශයේ රැකියා අවස්ථා උදාවිය. මේ අංශයේ රැකියාවල පඩි මට්ටම අඩුය. එහෙත් දිගුකාලීන ලෙස අප රටට ලබුණ රැකියා අවස්ථාවන් බහුල වශයෙන් මෙ අංශයේ විය.

1985 කාලය වෙද්දී ලෝක වෙළෙඳ පොලේ ඛණිජ තෙල් මිල සීග්‍ර ලෙස පහතට වැටෙන්න පටන් ගැනුනි. එය මැදපෙරදිග රටවල සිදුවෙමින් පැවැති කඩිනම් සංවර්ධන කාර්යයන් අඩාල කිරීමට හේතු විය. එහි ප්‍රතිවිපාක ලෙස ආසියාතික රැකියා සංක්‍රමිකයින් තුනෙන් එකක් දක්වා අඩුවූ බව කියැවේ, ඔවුන් ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් හා ගොඩනැගීම් කර්මාන්ත අංශයට අයත් වූහ. මෙවන් අංශ වල ලාංකික ශ්‍රමිකයින් අවම වූ නිසා එතරම් බලපෑමක් නොවිය.

මේ අවධිය වෙද්දී නිමාවෙමින් පැවති යටිතල පහසුකම් හා සේවාවන් ක්‍රියාත්මක කිරීමේ හා අදාල අධිකාරීන්ට පැවරීමේ අදියරයට එලඹී තිබීමත්, ඛණිජ තෙල් ආදායම පහත වැටීමෙන් ඇතිවූ වියදම් කප්පාදුවත් හේතුවෙන් සේවා අංශයේ වියදම් අඩු කිරීමට ලක්විය. ඒ අනුව සේවා අංශයේ රැකියා අවස්ථාවන් කෙරෙහිද බල්පෑමක් ඇති කලේය.

කල්යත්ම ඉහතකී මැදපෙරදිග සේවාවන් සපයන ආයතන (service providers) අතර තරඟයක් ඇතිවී සාපේක්ෂව අඩු මුදලට සේවා ලබාදෙන ආයතන බිහිවිය. ඉන් වූයේ නුපුහුණු ශ්‍රමික කුලකයට තරඟ කිරීමට බංගලාදේශය, නේපාලය වැනි රටවල් ද එක්වීමයි.

මැදපෙරදිග සේවාවන් සපයන ආයතන අඩු වියදම් මාර්ග වලට අවනත වෙන අතර ලංකාවේ රැකියා ඒජන්සි ඒ පාඩුව රැකියා බලාපොරොත්තු වූවන් ගෙන් පිරිමසා ගන්න පටන් ගැනුනි. ඒ අනුව රැකියා බලාපොරොත්තු වෙන් විශාල මුදලක් ඒජන්සි වලට ගෙවීමට සිදුවිය. ඒ ප්‍රවණතාවය හතු පිපෙනාක් මෙන් බිහි වූ ආයතනද ඒ තුලින් හොර වංචා ද ඇති කලේය.

4 comments:

  1. අයියණ්ඩියේ..

    මං උඹට මගේ සහෝදරයා කියල ඇමතුවේ උඹව දකින්නත් ඉස්සර..උඹ මේ ලියන ඒවාගෙන් කැඩපතකින්වගේ උඹගෙ හදවත මං දැක්ක.උඹව මුනගැහැහුණෙ කුඩාවෙලාවකටවුවත් මාව වැළඳ ගනිත්දි ,උඹේ හිනාව දකිත්දි උඹගැන හිතාහිටපු දේ හරියට හරි කියල තේරුණා..ඒවගේම පුංචි කෙළි පොඩිත්තියන් දෙන්නා,උඹගෙ බිරිඳ ඒ හැමෝම උඹ වගේම හදවත ලස්සන මිනිස්සු විත්තිය මට දැණුන.ඒත් මගේ හිතේ පොඩි කණගාටුවක් නම් තියෙනවා..එදා ඒ පුංචි එවුන් දෙන්නාට තෑග්ගක්වත් ගෙනියන්න බැරි වුනා නෙව..මගේ හිත නම් හරි නැහැ..(මම ගොඩේ මනුස්සයෙක් නෙ බං )
    ඉතිං සහෝදරයා ...මම් මේ කාන්තාරයෙන් සමුගත්ත..නැවත නො එන්න හිතාගෙන..(මම උත්සාහ කරණව මව් බිමේ රැඳෙන්න )උඹට නොකිය යන්න මට බැහැ...නමුත් මට හැකි වෙලාවට නොවැරදීම මේ ඉසව්වට එනවා..උඹ ලියල තියෙන්නේ මොනවද බලන්න..වෙනද වගේ දවසගානෙ ගොඩවෙන්න නම් බැරි වෙයි..
    මේ සටහන ලිව්වෙ කව්ද කියලා උඹ දන්නවා..ඒක මායි උඹයි දැනගත්තාම ඇති..

    ඉතිං....
    දෙවි පිහිටයි..

    ReplyDelete
  2. @Ano:
    පලමුව මට සමාවෙන්න ඕනේ, දින කිහිපයකට පසුව මේ පැත්තට ආවේ අද උදේ; මං මේ සටහන දකිනකොට ප්‍රමාද වේලා. මේ ටිකේම කෙලවරක් නැති වැඩ.

    නුඹ ගමරට බලා පිටත්වෙන්න කලියෙන් වරක් කතා කරන්න බැරි වීම ගැන කණගාටුයි මලේ. ඒත් නුඹ පැතුම් ගොන්නක් හිතේ පුරවාගෙන නැවත මව්බිමට යෑම ගැන සතුටුයි.

    මල්ලියේ මේ කොන්ක්‍රිට් වනයේ සැබෑ මිනිසුන් හමුවීම ම භාග්‍යයක්, තෑගිබෝග නෙවෙයි වැදගත්. කවදා හරි දවසක් අපේ ලස්සන් රටේ දී හමුවෙමු. එතෙක් පතොක් යායේ දී හමුවෙමු.

    නුඹේ සියළු පැතුමන් ඉටුවේවා කියලා පතනවා. තෙරුවන් සරණයි මල්ලියේ.

    ReplyDelete
  3. සන්සුන් සිතකින්, කරුණු මනාව සොයා විමසා බලා කෙරෙන අය්යගෙ මේ විවරණය දිගටම කරගෙන යාවියයි බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  4. @නලිනි චන්දිමා:
    බොහෝම ස්තුතියි නංගී දිරිමත් කරන සටහනට. ඔව් මේ වැඩේ දිගටම කරන්නයි අදහස.

    ReplyDelete