Thursday, April 28, 2011

විදේශික ශ්‍රමිකයින් සඳහා නවාතැන්

සැලකිය යුතු විදේශික ශ්‍රම බලකායක් ඇති රටක ප්‍රශ්ණ සමුදායකට මුහුණපානත් වෙනවා. තම ජන කොටස වල සංස්කෘතික රටාව, ජන ජීවිතය, ආර්ථිකය, සිවිල්, ආරක්ෂාව ආදී විවිධ පැතිවලට මින් සිදුවන බලපෑම් විහිදෙනවා.


උදාහරණයක් ලෙස මෑතක පලවූ සංඛ්‍යාලේඛණ අනුව මැදපෙරදිග විශාලතම රට වන සවුදි අරාබියේ ජනගහණයෙන් 20% කට වඩා ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 75% කට වඩාද විදේශික ප්‍රජාවක් ජීවත්වේ.


විදේශික ශ්‍රමිකයින් සඳහා වෙන නවාතැන් පහසුකම් සැකසීමේ දී මෙවැනි කරුණු සැලකිල්ලට ගෙන ඇති බව දිස්වේ. තවද විවිධ රැකියා මට්ටම්වල, සමාජීය මට්ටම්වල ද ජීවන තත්වයන් ද සැලකිල්ලට ගෙන නවාතැන් පහසුකම් සැකසීම නවීන සංවර්ධන ක්‍රියාදාමයේ කොටසක් ලෙසම කර ඇත. මැද පෙරදිග ඇති විසිරුණ ජනශුණ්‍ය ප්‍රදේශයන් බොහෝමයක් වීම ඊට පහසුවක් වී ඇති.


මුලදී රට තුලට ගලන විශාලතම ශ්‍රම බලකාය තනිකඩයින් වීම හා බොහෝ දුරට ගොඩනැගීම් හා යටිතල පහසුකම් සංවර්ධන කාර්යය සඳහාවීම නිසා ඒ කොට්ටාශයට සරිලන නවාතැන් සැකසීම ප්‍රමුඛත්වයක් ගෙන ඇත.


මෙ නවාතැන් කෑම්ප් (කඳවුරු) ලෙස හැඳින්වේ. රාජ්‍ය ආයතන හා ප්‍රමුඛ පෙලේ ආයතන වලට අනුබද්ධව ක්‍රමාණුකූලව ඉදිකල කෑම්ප් ඉහල තත්වයක වේ. ඒවායෙහි මනා සැලසුම් කිරීමක් දකින්න පුලුවන. බොහෝවිට රැකියා ශ්‍රේණි අනුව තනි, දෙපුද්ගල හෝ කිහිපදෙනෙකු එක්ව වෙසෙන කාමර වලින් යුත් ඉඳුම්-හිටුම්, පැමිණෙන රටවල් අනුව ආහාර සැපයන භෝජනාගාර, ක්‍රීඩා පිටි, ගෘහස්ථ ක්‍රීඩාගාර, හා පිහුනුම් තටාක වැනි පහසුකම් පමණක් නොව ඇඳුම් පැලඳුම් පවා සෝදා පිලියෙල කර දෙන ලොන්ඩ්‍රි පහසුකම් ආදියෙන් ද සමන්විතවේ. තවද සිනමා දර්ශන ශාලා, ජිම් ආදියෙන් සමන්විත විනෝදාගාර (recreation hall) පහසුකම් ද ඒවයෙහි වේ. නවාතැන් ගන්නන් ගේ අවශ්‍යතාවයන් මිලදී ගත හැකි කුඩා පරිමාණයේ සුපර් මාර්කට් ද වේ.


මෙ පහසුකම් සැම නැති එහෙත් ජීවත් වෙන්න අවැසි දෑ සපයන කෑම්ප් වල සිට හරියාකාරව ඔලුව තියා නිදාගන්නවත් පහසුකම් නැති නාමික කෑම්ප් ද නැතුවා නොවේ. බොහෝ විට ජල ප්‍රශ්ණය උග්‍රව බලපාන්නකි. එම පර්යන්තයනට නිසි ජල සැපයුමක් නැති විට ජල අවශ්‍යතාවය සපුරාලනුයේ බවුසර් වලින් කරන සැපයුමෙනි, එම තත්වය පැහැදිලි කිරීමට ඒ සැපයුම් මාර්ගය ගැන සඳහන ප්‍රමාණවත් ඇති. ජල සැපයුම අඩාල වෙද්දී ජලාපවාහණය ප්‍රශ්ණය ගැන අමුතුවෙන් ලිවීමට දෙයක් නැත.


ඉහතින් සඳහන් කර පරිදි අහාරපාන සැපයීමක් නැති තැනක උයාපිහා ගන්න අවශ්‍ය මූලික පහසුකම් ලබා දීම සිදුවේ. කාණ්ඩ වශයෙන් සෑදී තම වේල සකසාගනීම, කෑම සැපයුම් මාර්ගයකින් මිලදී ගැනීම ආදී විවිධ ක්‍රම වලින් ආහාර අවශ්‍යතා සපුරාගැනීමට සිදුවේ.