Sunday, October 31, 2010

ශ්‍රී ලාංකිකයිනට මැදපෙරදිග රැකියා අවස්ථා උදාවීම

මැදපෙරදිග සංවර්ධනය, විදේශික ජනගඟ හා බලපෑම යන සටහන ඔස්සේ ගෙනහැර දැක්වූ කරුණු අනුව විදේශික අරාබි හා අප්‍රිකාණු සංක්‍රමණිකයින් ගෙන් ස්වදේශික ජන කොටස කෙරෙහි ඇති වන අනිටු බලපෑම උදාසීන කරන පියවරක් හැටියට නව සංවර්ධන කාර්යයනට උවමනා කරන මිනිස් ශ්‍රම බලකාය දකුණු ආසියාතික රටවලින් හා පිලිපීනයෙන් ලබා ගැනීමට මැදපෙරදිග රාජ්‍යයන් ක්‍රියා කලෝය.

නොබැඳි ජාතීන්ගේ 5 වන සමුළුව 1976 අගෝස්තු 16-19 දිනවල කොළඹ දී පැවැතිනි. අරාබි රටවල් මෙන්ම මැදපෙරදිග රාජ්‍යයන් සියල්ලම වගේම, ඉරානය, ඉරාකය, අප්‍රිකානු රටවල් ද මෙම සංවිධානයේ සාමාජිකයන් වූහ. නොබැඳි ජාතීන්ගේ හවුල වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් සිදු වූ කාර්යභාරයට කෘතගුණ සැලකීමක් හා රටේ දියුණුවට අත දීමක් ලෙස සමුළුවට සහභාගී වූ මේ රටවල රැකියා අවස්ථා ලබා දුන්නා. ඒ අතර මැදපෙරදිග රටවල් වලට අමතරව උතුරු අප්‍රිකාණු රටක් වන ලිබියාව, දකුණු අප්‍රිකාණු රටක් වන නයිජීරියාව, ඉරාකය, ඉරානය, ඒ කාලයේ දෙකඩව තිබූ උතුරු හා දකුණු යේමන, ජොර්දානය, සිරියාව හා ලෙබනනය ද විය.

මෙකී රැකියා අවස්ථාවන් මගින් මුල් කාලයේ දි පලපුරුදු, ඒ ඒ ක්ෂේත්‍රවල උසස් නිපුණත්වයක ඇති පිරිසක් එකී රටවල රාජ්‍ය අනුග්‍රහයක් ඇති ආයතනවල රැකියා ලැබුවා. ඒ අතර නම් දැරූ ඛණිජ තෙල් අංශය හා සම්බන්ධ පලමු පෙලේ ආයතන විය, එම පිරිස ඒ ආයතනවල සෘජුවම සේවය කර පිරිස විය.

එහෙත් එවකට පැවැති ලක් රජය ඒ කාලයේ මැතිවරණයකට සූදානමින් සිටි නිසා දෝ මෙ රැකියා වරම් එතරම් මතුකරගන්න උත්සුක වූ බවක් පෙනෙන්ට නොවිය.

තවද ඒ වෙන විට රැකියා බහුලව පැවැති ඉදිකිරීමේ කර්මාන්තය සඳහා උවමනා කල පුහුණු, අර්ධ පුහුණු හා නුපුහුණු ශ්‍රමබලකාය පිරවීමට කොරියාව, තායිලන්තය, තුර්කිය, ඉන්දියාව, පාකිස්තානය හා අවට අරබි රටවල් සමත් වී තිබීම නිසා ඒ ක්ශේත්‍රයන් තුලට එඹිකම් කිරීමේ අවස්ථාව ද සීමිත විය.

Monday, October 25, 2010

මැදපෙරදිග සංවර්ධනය, විදේශික ජනගඟ හා බලපෑම

අරාබියානු අර්ධද්වීපයේ අලුතින් ඛණිජ සම්පත් සොයා ගැනීමත්, සීමිත ප්‍රදේශයක අණසක පැවති කලාපීය/ගෝත්‍ර මූලික සමාජය නව රාජධානීන් ලෙස මැනවින් සංවිධානය වීමත් සමඟම අරාබියානු ගල්ෆ් රටවල (සවුදි අරාබිය, ඕමන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට් හා බහරේන් එකතුව සෑදෙන GCC) සංවර්ධන කාර්යය කෙරෙහි වඩාත් උනන්දුවක් ඇති විය. 1973 වසරේ ලෝක වෙළෙඳ පොලේ ඛණිජ තෙල් මිල ඉහළ යෑමෙන් ලද ආර්ථික වාසිය එයට තවත් අනුබලයක් විය. එහෙත් අරාබියානු ගල්ෆ් රාජ්‍යයන් මුහුණපෑ ප්‍රධානතම බාධකය වූයේ එරටවල පැවැති මිනිස් ශ්‍රම බලකායේ හිඟයයි, එම රටවල් හයේ සමස්ත මිනිස් ශ්‍රම බලකාය මිලියන 1.36ක් විය.

මුලදී, අරාබියානු ගල්ෆ් රටවල පුහුණු හා නුපුහුණු මිනිස් ශ්‍රම අවශ්‍යතාවය ඊජිප්තුව, යේමනය, පලස්තීනය, ජොර්දානය, ලෙබනන්, සිරියාව හා සූඩානය වැනි අවට අරාබි රටවලින් ද අනෙකුත් අප්‍රිකාණු රටවලින් ද පකිස්තානය හා ඉන්දියාවෙන් ද සැකසිනි.

තාක්ෂණික අංශයේ ඉහල රැකියා අවස්ථා බටහිර හා දියුණු රටවල සමාගම් අත්කර ගත්තේය. ඉදිකිරීම් අංශයේ බහුතරය තුර්කි හා කොරියානු සමාගම් අත්පත් කරගත් අතර ඔවුන්ගේ වැසියන් සේවයේ යොදා ගත්තේය.

අප්‍රිකාණු හා අවට අරාබි රටවලින් අරාබි අර්ධද්වීපයේ රැකියාවනට සංක්‍රමණය වීම පුරාණයේ සිට පැවැතී ඇත. නව රැකියා දොරටු විවෘත වීමත් සමඟ ඇතිවූ ගැලීම හා බලන කල එය ඉතා කුඩාය. අප්‍රිකාණු හා අවට අරාබි රටවලින් ආ ජනකොටස් ඔවුන්ගෙන් සම්බවය අනුව සැදුම්ලත් කුඩා ජනාවාස තැන තැන ඇතිවී කාලයත් සමඟම ඔවුනට ආවේණික භාෂාමය, සංස්කෘතික, සිරිත්-විරිත්, ආදී විවිධ බලපෑම් ස්වදේශික ප්‍රජාවන් කෙරෙහි බලපාන්න පටන් ගැනින. සංඛ්‍යාත්මකව හැකිලීමට පත්ව සිටි වඩාත් සම්ප්‍රදායික/ආරක්ෂනවාදී ස්වදේශික ජන කොටස් වලට මේ බලපෑම තදින් දැනෙන්නට විය, එය කලාපයේ රාජ්‍යතන්ත්‍රයන් කරාද දැනුන බලවත් ප්‍රශ්ණයක් වීමට විය.


කලාපයේ රජයන් රටතුල ජීවත්වෙන විදේශික අරාබි හා අප්‍රිකාණු ප්‍රජාවන්ගේ එකාග්‍රතාවය (කොන්සෙන්ට්‍රේෂන්) හීන කරලීමට උත්සුක වූහ.

1975-85 කාලය තුලදී සවුදි අරාබිය හා කුවේට් රාජ්‍යයන් හි ජනගහණය දෙගුණ වූ බව කියැවේ.

Thursday, October 21, 2010

මැදපෙරදිග/ගල්ෆ් රාජ්‍යයන්

අරාබියානු අර්ධද්වීපය (Arabian Peninsula) නොයෙකුත් විදේශික පාලනයනට යටත්ව තිබී ඇත. භූගෝලීය පිහිටීම හා ස්වභාවීක සම්පත් වන ඛණිජ තෙල් හා ගෑස් සංචිතය නිසා මෙ කලාපය ලෝක ආර්ථික සිතියමේ වැදගත් තැනක් ගනී.

මෙ කලාපයෙ විශාලතම භූමි ප්‍රමාණයක් අයත් වන්නේ සවුදි අරාබියට ය. විවිධ ගෝත්‍රයන් (tribe) විසින් ඔවුනට අදාල පලාත් වෙන්කරගෙන පාලනය කර ඇති මෙ රට එකමුතු කර වර්ෂ 1932 දී සවුදි අරාබියානු රාජධානිය පිහිටුවා ඇත.

ඊට යාබද ඉරාක දේශ සීමාවේ පිහිටි කුවේට් රාජ්‍යය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලාබා ඇත්තේ 1961 දීය.

සවුදි අරාබියට දකුණු දෙසින් පිහිටි යේමනය කලාපයේ පැරණිතම රාජ්‍යය වේ. එරට 1918දී තුර්කියේ ඔත්මාන් අධිරාජ්‍යයාගෙන් නිදහස ලැබ ඇති අතර 1962 දක්වා කිසියම් සම්මුතියක් අනුව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවත 1967දී ජනරජයක් ලෙස ප්‍රකාෂයට පත්කර ඇත. 1970 දී දකුණු යේමනය උතුරු යේමනයෙන් වෙන්වී කොමිනිස්ට් රජයක් ප්‍රකාශයට පත්කර ඇත. පසුකාලීනව මෙ දෙරට යුද්ධ කිහිපයක පැටලුන ද 1990 වසරේ මැයි 22 දා නැවත යේමනය ලෙස එක්සත් විය.

අරාබියානු අර්ධද්වීපයේ ඉතිරි කලාප බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අණසක යටතේ පැවතී ඇත.

1960 දශකයේ අග භාගය වන විට මැදපෙරදිග රටවල් ගනනවක් බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වෙමින් සිටියේය. ඒ අනුව බහරේන්, ඕමන්, කටාර්, හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE - United Arab Emirates) යනාදී රටවල් 70 දශකයේ මුල් කාලය වෙන විට පිහිටුවා ඇත.

මින් UAE පෙඩරල් රාජ්‍යයන් හතකින් සමන්විත වේ, ඒවා නම් වශයෙන් අබූදාබිය, ඩුබායි, සාජා, අජ්මාන්, උම් අල් ක්වේන්, ෆුජේරා හා රාස් අල් කයිමා වේ. පෙඩරල් රාජ්යයන් එමීර්වරයෙක් මූලික සභාවකින් පාලනය වන අතර, මධ්‍යගත රජය ජනාධිපතිවරයා ලෙස අබූදාබියේ එමීර්වරයා පත්වේ.

ඒ අතර තුර සිදුවූ ඛණිජ තෙල් මිල ඉහළ යෑම හා කලාපයේ නව ඛණිජ තෙල් නිධි මතුවීම නවතම ආර්ථික ප්‍රවණතාවයක් ඇති කර ඇත. එය මැදපෙරදිග රටවල සීග්‍ර සංවර්ධන ක්‍රියාදාමයට මුලපිරුනි. ඉන් විශාල මිනිස් ශ්‍රම බලකායක අවශ්‍යතාවය මතුවිය. ඉංදියාව, පකිස්තානය, අන් අරාබි රටවල්, තුර්කිය, කොරියාව, චීනය, අප්‍රිකානු රටවල්, අනෙකුත් ආසියාතික රටවල් ද අඩු වැඩියෙන් ඉන් වාසි අත්කර ගෙන තිබුණි.

බටහිර රටවල් ඔවුන්ගේ තාක්ෂණික බලපුලුවන්කාරකම උපයෝගී කරගෙන කාලපයේ ආධිපත්‍යය පවත්වා ගැනීමට සමත් විය.

රැකියා පතා අපේ රටට ආ ඇත්තෝ...

රැකියා සඳහා ශ්‍රී ලංකාව වෙත සංක්‍රමණය වූවන් අතර දකුණු ඉංදීය වැසියන් පමණක් නොව, මුම්බාය අයත් මහරාෂ්ට්‍ර ප්‍රාන්තයටත් ඉහලට වෙන්න පිහිටි ලොව පුරා වෙළෙඳ කටයුතු වලට ප්‍රකට නමක් දරන ගුජරාත ප්‍රාන්ත වැසියන් ද විය. ඔවුන් පරම්පරා ගනනාවක් ලාංකාවේ වෙසූ නිසාම වෙන්න ඇති ඔවුන් බොහෝමයකගේ වාසගම කොලොම්බුවාලා ලෙස යෙදෙන්නේ.

ගුජරාත වැසියන්ගේ වාසගම් වල ඔවුන් කරන ව්‍යාපාරය, රැකියාව ආදිය දැක්වෙනවා. රෙදිපිලි මදින්නන් ප්‍රෙස්වාලා, රැන්ගුන් නුවර ව්‍යාපාර කල පවුල රැන්ගුන්වාලා, ටින්/තහඩු වෙළෙඳාමේ යෙදුන අය ටින්වාලා ආදී නම් ප්‍රසිද්ධයි.

ඉංදීය වැසියනට අමතරව පාකිස්තානු, සිංගප්පූරු, මැලේසියානු, චීන, හොංකොං ආදීන් ද ලංකාවේ රැකියා සඳහා පැමිණ ඇත.

අපේ රටේ පැවැති ශක්තිමත් ආර්ථිකයත්, ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලට ඔබින භූගෝලීය පිහිටීමත් මෙයට හේතු වෙන්න ඇති.

1960-70 කාලවල අප රටේ ඇති වූවා කියන ආගමන-විගමන නීතින්හි වෙනස්කම් නිසා බොහෝ විදේශික ප්‍රජාවන්ට රටින් පිටව යන්න සිදුවී ඇත.

ප.ලි.
මොවුන් මුනගැසුනාට පසුව මගේ හිතට දෙහිවල නම ගැන මෙහෙම සිතුනා. හින්දි බසින් මුදවාපු කිරි හා යෝගට් වලට දෙහි කියනවා. ඒ Dehiwala දෙහිවල වුනා වත්ද?

Wednesday, October 20, 2010

විදේශ රැකියා සඳහා සංක්‍රමණය

අද පොදුවේ යොදා ගන්නා විදේශ රැකියා යන වචනයේ නිවැරදි යෙදුම විදේශ රැකියා සඳහා සංක්‍රමණය වීම ය. මෙ වචනය මුල් කරගෙන මා වෙනස් තැනකින් සටහන පටන් ගන්න අදහස් කරනවා.

සංක්‍රමණය යන්න ශ්‍රී ලංකාවේ ඈත අතීතයකට දිවෙනවා. විවිධ සේවාවන් සඳහා 14වන ශත වර්ෂයේ දී ලාංකික රජවරුන් කළු අප්‍රිකානුවන් වහල් සේවයේ ලංකාවට ගෙනැවිත් ඇත. 15වන ශත වර්ෂයේ දී පෘතුගීසීන් ද, 16 හා 17වන ශත වර්ෂයේ දී ඕලන්දයින් විසින් ද අප්‍රිකානුවන් ලංකාවට ගෙනැවිත් ඇත. ඉන් පැවත එන පිරිස නූතන ලංකාවේ ද වෙසෙති, ඔවුන් කෆ්ෆිර් වරුන් හෙවත් කාපිරි නැමැති පෘතුගීසි සම්බවයක් ඇත්තන් වේ, ලංකාවේ බටහිර ප්‍රදේශවල ද, ත්‍රිකුණාමලය, මඩකලපුව ආශ්‍රිත ප්‍රදේශවල ඔවුන් වෙසෙන බව මාස ගනනාවකට පෙර ලාංකීය ඉංග්‍රීසි මාධ්‍ය පුවත් පතක පලවිය.
Sri Lanka Kaffirs වැඩි විස්තර මෙතැනින්

ඕලන්ද කොටුව ලෙස ප්‍රකට ගාලු කොටු පවුර ගොඩනැගීම්වල කළු ජාතික වහල් ජනයා සේවයකර ඇත.

ඉංග්‍රීසි පාලන කාලයේ දී ඔවුන්ගේ යටත් විජිත ගනනාවකින් ම රැකියා සඳහා ලංකාව තුලට සංක්‍රමණය සිදුව ඇත. ඉන්දීය දමිල ජනකොටස පැමිණීම ප්‍රකට නමුත්, ජාවා (ඉන්දුනීසියාව, මැලේසියාව) රටවල් වලින් ප්‍රධාන වශයෙන් යුද හමුදාවට ද ගෙනැවිත් ඇත.

70 දශකය වනතුරු ද විදේශිකයින් සැලකිය යුතු කොටසක් ලංකාවේ රැකියාවේ යෙදී ඇත. මැදපෙරදිග රැකියා අවස්ථා ඇති වෙන්න කලින් ඉංදියාවේ කේරල, බැංගලෝරය අගනුවර වන කර්නාටක, තමිල්නාඩු, ඔරීසා ප්‍රාන්තයන්හි ජනයා රැකියාවන් සඳහා ලංකාවට පැමිණ ඇත. අදටත් අප රට ගැන ප්‍රශංසාත්මකව කතාකරන එවන් කේරල පවුල් ගනනාවක් මට හමුවී ඇත.

ඔවුන් අප රටට ඇදී එන්න වූ හේතු වූයේ ලංකාවේ පැවැති ආර්ථික පසුබිමය. අප රට ඉංග්‍රීසි පාලනයෙන් නිදහස ලබන කාලයේ රටේ දළ ජාතික නිශ්පාදන (GDP) ඒකකය ඇමෙරිකානු ඩොලර් 49ක් විය, එකල එය දෙවැනි වූයේ ජපානයේ අගය වූ 50ට පමණි.

එවන් රම්‍ය භූමියක අපි විදෙස් රැකියා සඳහා රටින් පිටව යායුතු යුගයක් උදාවිය.

ඉංග්‍රීසි පාලන කාලයේ හා ඉන් පසුව අතලොස්සක් වූ ලාංකීක පිරිසක් බටහිර රටවල විවිධ සේවාවන් සඳහා ගොස් ඇත, ඒ අතර ගෘහ සේවයද තිබී ඇත.

හැඳින්වීම

පතොක් පැලය කර්කශ පොළොවක වැඩෙන්නක් හැටියට නම් දරන ශාකයකි. ඝණ පත්‍ර ඇති, උල් කටු පිරුණ, හැඩයක් නැති ගොරහැඬි විශාල පැලවල සිට ගේ දොර අලංකාරය පිණිස වගාකරන හුරුබුහුටි ගෘහස්ත ශාක දක්වා විවිධ හැඩ හා ප්‍රමාණයේ ශාක පතොක් කුලයට අයත්වේ. පමණක් පතොක් වර්ගවල චූටි ලස්සන මල් ද හටගනී. පතොක් ශාක කුලය කැක්ටස් (cactus) නමින් ඉංග්‍රීසි බසින් හඳුන්වයි. රූපලාවන්‍ය හා බෙහෙත් පැලෑටියක් ලෙස සැලකෙන කෝමාරිකා (aloe veraa - ඇලෝ වෙරා) ද පතොක් කුලයට අයත් වටිනා පැලයකි.

අපේ සමාජය හා මැදපෙරදිග රැකියා එකිනෙකට තිරසට හා සිරසට ඇදී දුවමින් සැකසුන වියමනක තන්තු මෙනි. ඉන් සමස්ත ලාංකීය සමාජයට හා ආර්ථිකයට ඉටු කෙරෙන සේවය සුළු පටු නොවේ, ඒ නිසා ම එය වටිනා වියමනකි. ඒ නිමැවුම දකින්න ලස්සන වුවුත් ඒ තන්තූන් බැඳ තබා ගැනීමේ උත්සාහයත් ඒ අතර සැඟවී ඇති දහසක් දෑ, මොස්තරයට පාට කලත් ඉන් යටකර ඇති "අමු රෙදිකඩ", කැඳ යොදා පිරිමැද පෙන්නුවත් ඇති කඩා වැටෙනසුළු බව; ආදියෙන් අඩුවක් නැත.

කාෂ්ඨක පරිසරයක ඔට්ටු අල්ලන දිරිය මිනිසුන් ගේ දහඩිය මුතුවලින් ජීවය ලබා, වැඩී කෝමාරිකාවන් මෙන් සමනය කරන "මැදපෙරදිග රැකියා" සම්බන්දව කරන විමසුමක් ගෙනෙන්න සැරසෙන වගයි... පතොක් යාය.

පලමුව, මේ විෂය හා සම්බන්ධව සීගිරිය.කොම් හි මා ඉදිරිපත් කල ලිපි පෙලක් කොටස් වශයෙන් පතොක් යායෙහි දිගැහැරේ.