Friday, November 26, 2010

මැදපෙරදිග ගෘහ සේවා රැකියා අවස්ථා බහුලවීම

70 දශකය මුල අරාබියානු අර්ධද්වීපයේ ඛණිජ සම්පත් සොයා ගැනීමත් එසමඟම වූ ඛණිජ තෙල් මිල ඉහළයෑමත් නිසාම ඇතිවූ සමාජ අර්ථික දියුණුව කලාපයේ රටවල පුරවැසියන්ගේ ජීවන තත්වය කෙරෙහි වඩාත් ප්‍රබල බලපෑමක් ඇති කලේය. ඒ අතරින් රැකියා සඳහා ස්වදේශිකයින් ගේ රටතුල ඇතිවූ සංක්‍රමණය හා නාගරීකරණය ප්‍රධාන තැනක් ගනී; එහි ප්‍රථිඵලයක් සේ ඇතිවූ සම්ප්‍රදායීක න්‍යශ්ඨික පවුල් ඒකකයෙන් ඈත්වීමෙන් සැකසෙන කුඩා පවුල් ඒකක හා ආර්ථික හැකියාව එදිනෙදා ගේ දොර කටයුතු ඉටුකර ගැනීම සඳහා ශ්‍රමිකයින් කොටසකගේ අවශ්‍යතාවය වැඩි කලේය.

සම්ප්‍රදායීකව අරාබිකරයේ ග්‍රාමීය කර්මාන්තවල හා ගෘහ සේවයේ යෙදී සිටියේ අවට අරාබි රටවලින් හා අප්‍රිකාණු රටවලින් පැමිණ පදිංචි වූ පිරිසය. ඒ අතර ඉන්දීය, පාකිස්තානු හා ඉන්දුනීසියනු වැසියන් ද වූහ. මුල් කාල වලදී මොවුන් නිදහසේ පැමිණ පදිංචි වී ඇත.

කලාපයේ ආර්ථික දියුණුවත් සමඟ ඇති වූ රැකියා සඳහා මුල් කාලයේ දී අප්‍රිකාණු හා අවට අරාබි රටවලින් සංක්‍රමණය වූ පිරිස ක්‍රම ක්‍රමයෙන් තම පවුල් හා ඥාතීන් ද ගෙන්වා ගත්තේය. කලාපයේ ඇතිවූ ගෘහස්ත රැකියා අවස්ථා කෙරෙහි ඔවුන් ද බහුලව ඇදුනෝය.

පසුගිය ලිපියකින් විස්තර කල පරිදි, පසුකාලීනව කලාපීය රජයන් ක්‍රියාවට නැංවූ ප්‍රතිපත්තිමය තීරණ (මැදපෙරදිග සංවර්ධනය, විදේශික ජනගඟ හා බලපෑම) අනුව මෙකී ශ්‍රමිකයින්ගේ සේවය ලබා ගැනීම දුෂ්කර විය.

කලාපයේ ගෘහ සේවා සඳහා සීමිත කොන්ත්‍රාත් කාලයකට යටත්ව මනා ආගමන-විගමන නීති වලට අනුකූලව ශ්‍රමිකයින් ගෙන්වීමට මැදපෙරදිග රජයන් කටයුතු සැකසුවෝය. ඒ අනුව ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, ඉන්දුනීසියාව හා අප්‍රිකාණු රටවලින් කතුන් ගෙන්වීම සිදුවිය.

එහෙත් 70 දශකයේ මැද දී පාකිස්තානු රජය එරට කතුන් ගෘහ සේවයට යැවීම නීතියෙන් තහනම් කරන ලදි.

ශ්‍රී ලංකාව මැදපෙරදිග රැකියා සැපයුමට පිවිසෙනුයේ 70 දශකයේ අග භාගයේ දී ය. ඒ වෙන විට සිදුවෙමින් පැවැති කඩිනම් සංවර්ධන කාර්යයනට අදාල මිනිස් ශ්‍රමය සැපයුම නොයෙක් රටවල් අතට පත්වී තිබුණි. අලුතින් ආරම්භ කර ලාංකික රැකියා ඒජන්සිවලට පහසුවෙන් ඇතුලත් විය හැකි මාර්ගය වූයේ හොඳ ඉල්ලුමක් සැකසී තිබුණ ගෘහ සේවා අංශයයි. ඒ අනුව මැදපෙරදිග රැකියා ලෙස ගෘහ සේවිකාවෝ හා ගෘහ රියදුරු ආදිය අවස්ථාවන් එළි දුටුවේය.


පසුකාලීනව බංගලාදේශය (1980 මුල දී), ඉන්දියාව (1990 මුල දී), නේපාලය (1990 අග දී) මැදපෙරදිගට ගෘහ සේවිකාවෝ යැවීම නතර කලේය. ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව ද විටින් විට තාවකාලික තහනම් ක්‍රියාත්මක කලේය.

Monday, November 15, 2010

ශ්‍රී ලංකාව මැදපෙරදිග රැකියා සැපයුමට පිවිසීම

1977 ජූලි මහා මැතිවරණයෙන් නව රජයක් පත්විය. නව රජය මැදපෙරදිග රැකියා අවස්ථාවන් ප්‍රයෝජනයට ගත්තේය. දේශපාලන ආශීර්වාදය ඇත්තෝ ඒජන්සි වරම් ලැබුවාය. එහෙත් වගකීමෙන් ක්‍රියාකල ප්‍රමුඛ පෙලේ ඒජන්සි අතලොස්සක් ද විය.

ඒ කාලය වෙද්දී මැදපෙරදිග සිදුවෙමින් පැවැති සීග්‍ර යටිතල පහසුකම් හා ඉදිකිරීම් කර්මාන්තයේ බටහිර රටවල්, තුර්කිය හා කොරියාව අත විය. ඔවුන් ගේ මිනිස් ශ්‍රම බලකයේ පුහුණු, අර්ධ පුහුණු හා නුපුහුණු ආදී අවශ්‍යතා පිරවීමට කොරියාව, තායිලන්තය, තුර්කිය, ඉන්දියාව, පාකිස්තානය හා අවට අරබි රටවල් වලින් සිදුවිය. ඉහළ ශ්‍රේණිවල කළමණාකරණය හා තාක්ෂණික අංශ කොරියානු, තුර්කි හා බටහිර දේශවල වැසියන්ගෙන් සැකසිනි.

මෙවන් පසුබිමක මැදපෙරදිග රැකියා අවස්ථා උදාවුවද ඒ වෙන විටත් මිනිස් ශ්‍රම සැපයුම් මාර්ගයන් අත්පත් කරගෙන සිටි විදෙස් රටවල සමාගම් හා ගැටී මැදපෙරදිග මිනිස් ශ්‍රම සැපයීමේ වෙළෙඳ පොළට අවතීර්ණ වීම ලෙහෙසි නොවිය. එවන් වාතාවරණයක් පැවතුනද ලංකාවේ පත්වූ නව රජය හා බිහිවූ විදේශීය රැකියා සපයන ඒජන්සි රැකියා අවස්ථා රාශියක් රටතුලට ගෙන ඒමට සමත්විය. ඉන් ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයට අදාල රැකියා නිපුනත්වයක් තිබූ අය වාසි ලැබුවාය.

ඛණිජ තෙල් ආදායම යහපත් වෙන අතරම මැදපෙරදිග රටවල සංවර්ධන ක්‍රියාදාමය ද සීග්‍රවිය. එකී සංවර්ධන ක්‍රියාදාමයේ ඉදිකිරීම් අංශවල නියැලුණ පිරිසට සැකසූ ඉදුම්-හිටුම් හා ආහාරපාන සැපයීමේ අංශය, විවිධ පහසුකම් හා සේවා සපයන අංශය ආදිය ඇතිවිය. ඉන් විශාල නුපුහුණු ශ්‍රම බලකායක අවශ්‍යතාවය පිරවීමේ අවස්ථා ද අප රටට හිමිවිය. එහෙත් ඔවුනට සැලකිය යුතු පඩියක් හිමි විය.

මුල් කාලයේ දී රැකියා ඒජන්සි මිනිස් ශ්‍රම සැපයුම් සඳහා තම සේවාදායක ආයතන වලින් යහපත් ගෙවීමක් ලැබුවෝය. ඔවුන් මගින් රැකියා ලබා ගත් පිරිස ද කිසිඳු ගෙවීමකින් තොරව රැකියා වලට ගියෝය. මුල්කාලයේ වගකීමෙන් ක්‍රියා කල ඒජන්සි තමුන් හරහා රැකියාවට ගිය අය ගැන සොයා බැලූ අතර ඒ පුද්ගලයින් ගේ අසනීප තත්වවලදී ඔවුන් ගෙන්වා ගැනීම, පවුලේ මරණයක් වැනි හදිසි තත්වයකදී රැකියා කරන සමාගම් සමඟ පණිවුඩ හුවමාරු කිරීම, නිවාඩුවට යන එන අතර සිදුවිය යුතු දේ සැකසීම ආදී සේවක සුබසාධන කටයුතු ද ඉටු කලෝය. එවන් ඒජන්සි හා රැකියා සඳහා ගිය අය අතර සුහදතාවය කෙබඳු ද කියනවා නම් නිවාඩුවට ගම රට බලා එන උදවිය ඒජන්සි සේවක මඩුල්ලට ද තෑගි බෝග ගෙන එන්න තරම් කුළුපඟ විය.

එදා අද තරම් පණිවුඩ හුවමාරු ක්‍රම සුලභ නැත. මැදපෙරදිග කෙලෙවරක් තනිවූ අය හා පවුලේ අය අතර වූ එකම කවුළුව ලියුම් කඩදාසියක් පමණකි. දෙපැත්තේ ලියුම් ගනුදෙනුව ඇනහිටී අවස්ථාවක ඒජන්සි කරා යන පවුලේ උදවියට ෆැක්ස් පණිවුඩයක්, දුරකතන ඇමතුමක් මගින් සමාගම් අමතා විස්තර දැන ගැනීම ආදී මානුෂික මෙහෙවරකට අත දීමට ඔවුන් පසුබට නොවූහ.