Thursday, April 28, 2011

විදේශික ශ්‍රමිකයින් සඳහා නවාතැන්

සැලකිය යුතු විදේශික ශ්‍රම බලකායක් ඇති රටක ප්‍රශ්ණ සමුදායකට මුහුණපානත් වෙනවා. තම ජන කොටස වල සංස්කෘතික රටාව, ජන ජීවිතය, ආර්ථිකය, සිවිල්, ආරක්ෂාව ආදී විවිධ පැතිවලට මින් සිදුවන බලපෑම් විහිදෙනවා.


උදාහරණයක් ලෙස මෑතක පලවූ සංඛ්‍යාලේඛණ අනුව මැදපෙරදිග විශාලතම රට වන සවුදි අරාබියේ ජනගහණයෙන් 20% කට වඩා ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 75% කට වඩාද විදේශික ප්‍රජාවක් ජීවත්වේ.


විදේශික ශ්‍රමිකයින් සඳහා වෙන නවාතැන් පහසුකම් සැකසීමේ දී මෙවැනි කරුණු සැලකිල්ලට ගෙන ඇති බව දිස්වේ. තවද විවිධ රැකියා මට්ටම්වල, සමාජීය මට්ටම්වල ද ජීවන තත්වයන් ද සැලකිල්ලට ගෙන නවාතැන් පහසුකම් සැකසීම නවීන සංවර්ධන ක්‍රියාදාමයේ කොටසක් ලෙසම කර ඇත. මැද පෙරදිග ඇති විසිරුණ ජනශුණ්‍ය ප්‍රදේශයන් බොහෝමයක් වීම ඊට පහසුවක් වී ඇති.


මුලදී රට තුලට ගලන විශාලතම ශ්‍රම බලකාය තනිකඩයින් වීම හා බොහෝ දුරට ගොඩනැගීම් හා යටිතල පහසුකම් සංවර්ධන කාර්යය සඳහාවීම නිසා ඒ කොට්ටාශයට සරිලන නවාතැන් සැකසීම ප්‍රමුඛත්වයක් ගෙන ඇත.


මෙ නවාතැන් කෑම්ප් (කඳවුරු) ලෙස හැඳින්වේ. රාජ්‍ය ආයතන හා ප්‍රමුඛ පෙලේ ආයතන වලට අනුබද්ධව ක්‍රමාණුකූලව ඉදිකල කෑම්ප් ඉහල තත්වයක වේ. ඒවායෙහි මනා සැලසුම් කිරීමක් දකින්න පුලුවන. බොහෝවිට රැකියා ශ්‍රේණි අනුව තනි, දෙපුද්ගල හෝ කිහිපදෙනෙකු එක්ව වෙසෙන කාමර වලින් යුත් ඉඳුම්-හිටුම්, පැමිණෙන රටවල් අනුව ආහාර සැපයන භෝජනාගාර, ක්‍රීඩා පිටි, ගෘහස්ථ ක්‍රීඩාගාර, හා පිහුනුම් තටාක වැනි පහසුකම් පමණක් නොව ඇඳුම් පැලඳුම් පවා සෝදා පිලියෙල කර දෙන ලොන්ඩ්‍රි පහසුකම් ආදියෙන් ද සමන්විතවේ. තවද සිනමා දර්ශන ශාලා, ජිම් ආදියෙන් සමන්විත විනෝදාගාර (recreation hall) පහසුකම් ද ඒවයෙහි වේ. නවාතැන් ගන්නන් ගේ අවශ්‍යතාවයන් මිලදී ගත හැකි කුඩා පරිමාණයේ සුපර් මාර්කට් ද වේ.


මෙ පහසුකම් සැම නැති එහෙත් ජීවත් වෙන්න අවැසි දෑ සපයන කෑම්ප් වල සිට හරියාකාරව ඔලුව තියා නිදාගන්නවත් පහසුකම් නැති නාමික කෑම්ප් ද නැතුවා නොවේ. බොහෝ විට ජල ප්‍රශ්ණය උග්‍රව බලපාන්නකි. එම පර්යන්තයනට නිසි ජල සැපයුමක් නැති විට ජල අවශ්‍යතාවය සපුරාලනුයේ බවුසර් වලින් කරන සැපයුමෙනි, එම තත්වය පැහැදිලි කිරීමට ඒ සැපයුම් මාර්ගය ගැන සඳහන ප්‍රමාණවත් ඇති. ජල සැපයුම අඩාල වෙද්දී ජලාපවාහණය ප්‍රශ්ණය ගැන අමුතුවෙන් ලිවීමට දෙයක් නැත.


ඉහතින් සඳහන් කර පරිදි අහාරපාන සැපයීමක් නැති තැනක උයාපිහා ගන්න අවශ්‍ය මූලික පහසුකම් ලබා දීම සිදුවේ. කාණ්ඩ වශයෙන් සෑදී තම වේල සකසාගනීම, කෑම සැපයුම් මාර්ගයකින් මිලදී ගැනීම ආදී විවිධ ක්‍රම වලින් ආහාර අවශ්‍යතා සපුරාගැනීමට සිදුවේ.

Wednesday, March 23, 2011

මැදපෙරදිග කලාපයේ සීග්‍ර දියුණුව හා දීර්ග කාලීන සැලැස්ම

මැදපෙරදිග රටවල සීග්‍ර සංවර්ධන ව්‍යාපෘතීන් 1980 දශකයේ මුල වෙන විට අවසන් වූවත් ඒවායෙහි ක්‍රියාකාරීත්වයට උවමනා පලපුරුදු මිනිස් ශ්‍රම බලකාය එරටවල නොවිය. ඛණිජ සම්පත් සොයාගත් 1930 ගනන් වල සිට ඒ අංශයේ ක්‍රියාකාරිත්වය බටහිර දියුණු රටවල් අතේ විය, ඔවුන්ගේ පිරිසම සේවයේ යොදවා ගත්තේය. යම් යම් ශ්‍රේණිවල පලපුරුදු සේවාවන් සඳහා ඉන්දීය, පාකිස්තානු හා අවට අරාබි රටවල ශ්‍රම බලකාය යොදා ගත්තේය. අප රටට රැකියා අවස්ථාව උදා වූ මුල් කාලයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ හා පොහොර සංස්ථාවේ පලපුරුදු කාර්මික ශ්‍රේණිවල පිරිස ද ඉන් පල නෙලා ගත්තෝය. මේ අතර තුර එරටවල් තම වැසියන් අදාල ක්ෂේත්‍ර වල රැකියා සඳහා ක්‍රමානුකූල වැඩ පිලිවෙලක් යටතේ පුහුණු කලහ.

මුල් කාලවල අවට අරාබි රටවල වැසියන් හා පකිස්තානු ජාතිකයින් රාජ්‍ය ආරක්ෂක හමුදාවල ද සේවය කර ඇත. මෙ රටවල ශ්‍රමිකයින්ගේ හිඟය කෙතරම් ද යන්න ඉන් පෙන්නුම් කරයි. එහෙත් ක්‍රමයෙන් සවදේශිකයින් පුරුදු කර රටවැසියන් ගෙන් යුත් හමුදා ස්ථාපිත කලේය.

සම්ප්‍රදායීක ලෙස මෙරටවල විවිධ සේවාවන් හි නිරතව සිටි ශ්‍රම බලකාය අරාබි හා අප්‍රිකානු වැසියන්ගෙන් යුක්ත විය. ඔවුන් පාරම්පරික අරාබි බස කතාකරන අයවීමත් එරටවලින් සංක්‍රමණය වී ස්වදේශීය සංස්කෘතීන් වලට විය හැකි බලපෑමත් ප්‍රදේශයේ රජ්‍ය තන්ත්‍රවල විමසුමට හේතු වී ඇත. එකල ස්වදේශික ජනකොටස කිහිපවරක් අභිබවා යමින් සිටි විදේශීය ශ්‍රම බලකායෙන් තම රටවල අනන්‍යතාවය ආරක්ෂා කරගැනුමට උත්සුක වූවෝය. විවිධ ජනකොටස් වල ව්‍යාප්තිය හා ඒකාග්‍රතාවය (concentration) තම රටවල සමාජීය, ආර්ථික හා ජන ජීවිත වලට කරතැහැකි බලපෑම උදාසීන කරන අයුරින් ක්‍රීයාකිරීමට උත්සූක වූහ.

සීග්‍ර සංවර්ධන ක්‍රියාදාමයන් යටතේ රට වැසියන් ගේ ජීවන තත්වය නංවාලන හා යහපත් ජීවිතයකට උපකාරී වෙන සෞඛ්‍ය සේවා, පාසැල්, උසස් අධ්‍යාපන ආයතන, මහා මාර්ග, සිවිල් ගුවන් තොටුපලවල්, වරාය සංකීර්ණ ආදිය කඩිනම්ව ගොඩනැගුනි. ආරක්ෂක හමුදාවලට අදාල නවීන සංකීර්ණයන් හා ඒවායේ උදවියට අවශ්‍ය නවාතැන් හා අනෙකුත් පහසුකම් ඉදිවිය. ආර්ථික සංවර්ධන කලාප, කාර්මික ජනපද බිහිවිය. දේශයේ කොඳු නාරටිය වන ඛණිජ සම්පත් හා සම්බන්ධ කර්මාන්ත වලට අදාල යටිතල පහසුකම් දියුණු කරන ව්‍යාපෘති ඇරඹිණි. ඉදිකිරීමෙ අදියර අවසන් වූ පසු අදාල ආයතනවල පාලනයට පැවරෙන මෙ ව්‍යාපෘති බොහෝමයකම දෛනික පවිත්‍රකිරීම් වල පටන් නඩත්තු කටයුතු හා පමණක් විශේෂිත සේවාවන් පවා සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවන් විසින් සිදුවේ.

මින් මතුවූ විශාල මිනිස් ශ්‍රම බලකායක අවශ්‍යතාවය සැපිරීම ආසියාතික රටවලට පැවරිණි. මෙතැනදී සම්ප්‍රදායීක ක්‍රමයෙන් බැහැරවීමට හේතු වී ඇත්තේ කලින් විස්තර කල ජන ඒකාග්‍රතාවය තුලිත කිරීමේ ප්‍රයත්නයයි.

බොහෝ මහා පරිමාණ නවක ව්‍යාපෘති බිහි වූයේ ජනශුන්‍ය ප්‍රදේශවලය. ඒවායෙහි සේවය කරන්නන්ට අවශ්‍ය කරන නවාතැන් සංකීර්ණ ද යාබදව පිහිටුවිය. තදාසන්න පෙදෙස්වල සේවය කරන අය සඳහා නවාතැන් පහසුකම් සැපයුනේ දුරස්තවය. තවද මෙසේ පැමිණෙන ජන ගංගාව විදේශිකයින් වීමත්, තනිකඩ අය වීමත් ආදී කරුණු නිසා ඔවුනට නවාතැන් සැකසුනේ ස්වදේශිකයින් ජීවත් වන ජනාවාස ප්‍රදේශවලින් ඈතට වෙන්නය.

Monday, February 21, 2011

මැදපෙරදිග රැකියා අවස්ථාවල තරඟය, ලාංකීය ඒජන්සි හා සැපයුම

1977 දී පත්වූ නව රජයේ වෙළඳ ප්‍රතිපත්තිය වූයේ නිදහස් ආර්ථික ක්‍රමයයි. නව ආර්ථික ක්‍රමය හමුවේ ජනතාවගේ උවමනා එපාකම් ද සීග්‍රව වෙනස් විය. ශ්‍රී ලංකාව මැදපෙරදිග රැකියා සැපයුමට පිවිසීම සමඟ එම රැකියා අවස්ථාවන් නාගරීක සමාජයේ ප්‍රචලිත විය.

මැදපෙරදිග ගෘහ සේවා රැකියා අවස්ථා බහුලවීම ප්‍රයෝජනයට ගත් ලාංකීය රැකියා එජන්සි ගෘහ සේවාවන් සඳහා යැවීමට නාගරීක කාන්තාවන් නැඹුරු කරගැනීමට අසීරුවක් නොවිය. මැදපෙරදිග රැකියා ක්‍රමයෙන් නගරාසන්න ජනකොටස් ද ආකර්ෂණය කරගන්න එතරම් කාලයක් ගත වූයේ නැත.

80 දශකයේ තෙල් මිල පහත වැටීම මැදපෙරදිග රැකියා කෙරෙහි බලපෑවේය. වියදම් අවම කරන ක්‍රමයක් ලෙස අඩු මුදලට සේවාවන් ලබා දෙන ආයතන මැදපෙරදිග කලාපයේ බිහි විය, අනිටු ප්‍රතිපලයක් හැටියට රැකියාවනට ගෙවන පඩිය ද අඩුවිය. මේ තත්වයට මුහුණ දීමට මැදපෙරදිග රැකියාවනට ශ්‍රම බලකාය සපයන පාර්ශවයන්ට සිදුවිය. එහෙත් අප රටතුල වැඩි වෙමින් පැවැති රැකියා ඒජන්සි අතරද අඩු වියදම් සැපයීමේ තරඟය ඇතිවිය.

රටතුල ඇති වූ නිදහස් ආර්ථික ක්‍රමය සමඟ තදට වසා තිබූ ගේට්ටු හැර රටතුලට එකී මෙකී නොකී හැම දෙයම ගලා එන්නට විය. නිෂ්පාදන වියදම අනුව ආනයනික භාණ්ඩ සමඟ තරඟ කරන්න සමත් නොවූ දේශීය කර්මාන්ත ඇද වැටෙන්නට වුනි. එවන් පසුබිමක රැකියා හිඟයක් මතු වේ.

ග්‍රාමීය සමාජයද මැදපෙරදිග රැකියාවන් සොයා නගරයට ඇදෙන්නට විය. එය මැදපෙරදිග සේවාදායකයින් ගෙන් ගිලිහී ගිය දීමනා රැකියා බලාපොරොත්තුවෙන් එන පිරිසගෙන් පියවා ගැනීමට රැකියා ඒජන්සි හා අතරමැදියනට වාසිදායක විය.


තවද උතුරු නැගෙනහිර පාලත්වල පැවති නොසන්සුන්තාවය හා බලපෑම එම පලාතේ ජනයා රැකියා ඒජන්සි වලට ගොදුරු කලේය.

Monday, January 3, 2011

80 දශකයේ තෙල් මිල පහත වැටීම හා මැදපෙරදිග රැකියා

රටතුල විදේශ රැකියා සපයන ප්‍රමුඛ පෙලේ ඒජන්සි යහපත් සේවාවක් ලබා දෙමින් ආර්ථික වශයෙන් වාසි ලබා ගනිත්ම දේශපාලන (1977 පත්වූ රජයේ) ආශීර්වාදය ලද්දෝ ද නව වෙළෙඳ පොළට අවතීර්ණ වූහ. එහෙත් මේ වන විටත් මැදපෙරදිග රැකියා සැපයුම අත්පත් කරගෙන සිටි අනෙක් රටවල මූලයන් සමඟ තරඟ කිරීමට නොහැකි ලාංකීය රැකියා ඒජන්සි කෙරෙහි ද බලපෑමක් ඇතිවිය. ඔවුන් පැවැති රජයේ ද ආශීර්වාදය ඇතුව මැදපෙරදිග මතු වූ ගෘහ සේවා ඉල්ලුම සැපිරීමට ක්‍රියා කළෝය. රැකියා ඒජන්සි උකුසු ඇස මතුකර ගෘහ සේවිකා සේවාවනට පලමුව ගොදුරු වූයේ නාගරීක කාන්තාවන්ය.

1980 දශකය මුල වෙද්දී මැදපෙරදිග කඩිනම් සංවර්ධන ක්‍රියාදාමයේ බොහෝ නව ඉදිකිරීම්, විදුලි බල, ජල සැපයුම් ආදී යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමේ අවධියට පත්විය. ඉන් ඇතිවූ ක්‍රියාත්මක කිරීමේ (operations) හා නඩත්තු කිරීමේ (maintenance) අංශයේ රැකියා අවස්ථා උදාවිය. මේ අංශයේ රැකියාවල පඩි මට්ටම අඩුය. එහෙත් දිගුකාලීන ලෙස අප රටට ලබුණ රැකියා අවස්ථාවන් බහුල වශයෙන් මෙ අංශයේ විය.

1985 කාලය වෙද්දී ලෝක වෙළෙඳ පොලේ ඛණිජ තෙල් මිල සීග්‍ර ලෙස පහතට වැටෙන්න පටන් ගැනුනි. එය මැදපෙරදිග රටවල සිදුවෙමින් පැවැති කඩිනම් සංවර්ධන කාර්යයන් අඩාල කිරීමට හේතු විය. එහි ප්‍රතිවිපාක ලෙස ආසියාතික රැකියා සංක්‍රමිකයින් තුනෙන් එකක් දක්වා අඩුවූ බව කියැවේ, ඔවුන් ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් හා ගොඩනැගීම් කර්මාන්ත අංශයට අයත් වූහ. මෙවන් අංශ වල ලාංකික ශ්‍රමිකයින් අවම වූ නිසා එතරම් බලපෑමක් නොවිය.

මේ අවධිය වෙද්දී නිමාවෙමින් පැවති යටිතල පහසුකම් හා සේවාවන් ක්‍රියාත්මක කිරීමේ හා අදාල අධිකාරීන්ට පැවරීමේ අදියරයට එලඹී තිබීමත්, ඛණිජ තෙල් ආදායම පහත වැටීමෙන් ඇතිවූ වියදම් කප්පාදුවත් හේතුවෙන් සේවා අංශයේ වියදම් අඩු කිරීමට ලක්විය. ඒ අනුව සේවා අංශයේ රැකියා අවස්ථාවන් කෙරෙහිද බල්පෑමක් ඇති කලේය.

කල්යත්ම ඉහතකී මැදපෙරදිග සේවාවන් සපයන ආයතන (service providers) අතර තරඟයක් ඇතිවී සාපේක්ෂව අඩු මුදලට සේවා ලබාදෙන ආයතන බිහිවිය. ඉන් වූයේ නුපුහුණු ශ්‍රමික කුලකයට තරඟ කිරීමට බංගලාදේශය, නේපාලය වැනි රටවල් ද එක්වීමයි.

මැදපෙරදිග සේවාවන් සපයන ආයතන අඩු වියදම් මාර්ග වලට අවනත වෙන අතර ලංකාවේ රැකියා ඒජන්සි ඒ පාඩුව රැකියා බලාපොරොත්තු වූවන් ගෙන් පිරිමසා ගන්න පටන් ගැනුනි. ඒ අනුව රැකියා බලාපොරොත්තු වෙන් විශාල මුදලක් ඒජන්සි වලට ගෙවීමට සිදුවිය. ඒ ප්‍රවණතාවය හතු පිපෙනාක් මෙන් බිහි වූ ආයතනද ඒ තුලින් හොර වංචා ද ඇති කලේය.