Wednesday, March 23, 2011

මැදපෙරදිග කලාපයේ සීග්‍ර දියුණුව හා දීර්ග කාලීන සැලැස්ම

මැදපෙරදිග රටවල සීග්‍ර සංවර්ධන ව්‍යාපෘතීන් 1980 දශකයේ මුල වෙන විට අවසන් වූවත් ඒවායෙහි ක්‍රියාකාරීත්වයට උවමනා පලපුරුදු මිනිස් ශ්‍රම බලකාය එරටවල නොවිය. ඛණිජ සම්පත් සොයාගත් 1930 ගනන් වල සිට ඒ අංශයේ ක්‍රියාකාරිත්වය බටහිර දියුණු රටවල් අතේ විය, ඔවුන්ගේ පිරිසම සේවයේ යොදවා ගත්තේය. යම් යම් ශ්‍රේණිවල පලපුරුදු සේවාවන් සඳහා ඉන්දීය, පාකිස්තානු හා අවට අරාබි රටවල ශ්‍රම බලකාය යොදා ගත්තේය. අප රටට රැකියා අවස්ථාව උදා වූ මුල් කාලයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ හා පොහොර සංස්ථාවේ පලපුරුදු කාර්මික ශ්‍රේණිවල පිරිස ද ඉන් පල නෙලා ගත්තෝය. මේ අතර තුර එරටවල් තම වැසියන් අදාල ක්ෂේත්‍ර වල රැකියා සඳහා ක්‍රමානුකූල වැඩ පිලිවෙලක් යටතේ පුහුණු කලහ.

මුල් කාලවල අවට අරාබි රටවල වැසියන් හා පකිස්තානු ජාතිකයින් රාජ්‍ය ආරක්ෂක හමුදාවල ද සේවය කර ඇත. මෙ රටවල ශ්‍රමිකයින්ගේ හිඟය කෙතරම් ද යන්න ඉන් පෙන්නුම් කරයි. එහෙත් ක්‍රමයෙන් සවදේශිකයින් පුරුදු කර රටවැසියන් ගෙන් යුත් හමුදා ස්ථාපිත කලේය.

සම්ප්‍රදායීක ලෙස මෙරටවල විවිධ සේවාවන් හි නිරතව සිටි ශ්‍රම බලකාය අරාබි හා අප්‍රිකානු වැසියන්ගෙන් යුක්ත විය. ඔවුන් පාරම්පරික අරාබි බස කතාකරන අයවීමත් එරටවලින් සංක්‍රමණය වී ස්වදේශීය සංස්කෘතීන් වලට විය හැකි බලපෑමත් ප්‍රදේශයේ රජ්‍ය තන්ත්‍රවල විමසුමට හේතු වී ඇත. එකල ස්වදේශික ජනකොටස කිහිපවරක් අභිබවා යමින් සිටි විදේශීය ශ්‍රම බලකායෙන් තම රටවල අනන්‍යතාවය ආරක්ෂා කරගැනුමට උත්සුක වූවෝය. විවිධ ජනකොටස් වල ව්‍යාප්තිය හා ඒකාග්‍රතාවය (concentration) තම රටවල සමාජීය, ආර්ථික හා ජන ජීවිත වලට කරතැහැකි බලපෑම උදාසීන කරන අයුරින් ක්‍රීයාකිරීමට උත්සූක වූහ.

සීග්‍ර සංවර්ධන ක්‍රියාදාමයන් යටතේ රට වැසියන් ගේ ජීවන තත්වය නංවාලන හා යහපත් ජීවිතයකට උපකාරී වෙන සෞඛ්‍ය සේවා, පාසැල්, උසස් අධ්‍යාපන ආයතන, මහා මාර්ග, සිවිල් ගුවන් තොටුපලවල්, වරාය සංකීර්ණ ආදිය කඩිනම්ව ගොඩනැගුනි. ආරක්ෂක හමුදාවලට අදාල නවීන සංකීර්ණයන් හා ඒවායේ උදවියට අවශ්‍ය නවාතැන් හා අනෙකුත් පහසුකම් ඉදිවිය. ආර්ථික සංවර්ධන කලාප, කාර්මික ජනපද බිහිවිය. දේශයේ කොඳු නාරටිය වන ඛණිජ සම්පත් හා සම්බන්ධ කර්මාන්ත වලට අදාල යටිතල පහසුකම් දියුණු කරන ව්‍යාපෘති ඇරඹිණි. ඉදිකිරීමෙ අදියර අවසන් වූ පසු අදාල ආයතනවල පාලනයට පැවරෙන මෙ ව්‍යාපෘති බොහෝමයකම දෛනික පවිත්‍රකිරීම් වල පටන් නඩත්තු කටයුතු හා පමණක් විශේෂිත සේවාවන් පවා සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවන් විසින් සිදුවේ.

මින් මතුවූ විශාල මිනිස් ශ්‍රම බලකායක අවශ්‍යතාවය සැපිරීම ආසියාතික රටවලට පැවරිණි. මෙතැනදී සම්ප්‍රදායීක ක්‍රමයෙන් බැහැරවීමට හේතු වී ඇත්තේ කලින් විස්තර කල ජන ඒකාග්‍රතාවය තුලිත කිරීමේ ප්‍රයත්නයයි.

බොහෝ මහා පරිමාණ නවක ව්‍යාපෘති බිහි වූයේ ජනශුන්‍ය ප්‍රදේශවලය. ඒවායෙහි සේවය කරන්නන්ට අවශ්‍ය කරන නවාතැන් සංකීර්ණ ද යාබදව පිහිටුවිය. තදාසන්න පෙදෙස්වල සේවය කරන අය සඳහා නවාතැන් පහසුකම් සැපයුනේ දුරස්තවය. තවද මෙසේ පැමිණෙන ජන ගංගාව විදේශිකයින් වීමත්, තනිකඩ අය වීමත් ආදී කරුණු නිසා ඔවුනට නවාතැන් සැකසුනේ ස්වදේශිකයින් ජීවත් වන ජනාවාස ප්‍රදේශවලින් ඈතට වෙන්නය.

No comments:

Post a Comment